Tuesday, December 2, 2014

AIDS is next to you !

ඒඩ්ස්‌ ඔබ ළඟම AIDS is next to you
The most dangerous (STD ) Sexually Transmitted Disease 
තිස්‌තුන් වසරකට ඉහත 1981දී, ඒඩ්ස්‌ රෝග තත්වය ගැන තොරතුරු පළවීමෙන් අනතුරුව, රෝගයට අදාළ වයිරසය ලෝකයට සිදු කළ හා සිදු කරමින් පවතින හානිය අපමණය. එහෙයින්ම, මේ දක්‌වා එච්.අයි.වී. ආසාදනයට ලක්‌වූවන්ගේ සංඛ්‍යාව මිලියන 78 කින් සටහන් වන විට, ඒඩ්ස්‌ තත්වයට පත්ව මිය ගිය සංඛ්‍යාව දැක්‌වෙන්නේ මිලියන 39 කිනි.

1988 දී, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් දෙසැම්බර් පළමු වන දින, ලෝක ඒඩ්ස්‌ දිනය ලෙස නම් කොට හැම වසරකම එදින ඉලක්‌ක කොට ගෙන විවිධ ක්‍රියාකාරකම් සඳහා අවකාශය සලසන්නේ, අදාළ වකවානුව තුළ, ඒඩ්ස්‌ නිවාරණය වෙනුවෙන් කළ යුතු දේ ලෝක වාසීන්ගේ මතකයට නගන්නටය. ඒ අනුව, 2011 සිට 2015 දක්‌වා ලෝක ඒඩ්ස්‌ දිනයට අදාළ තේමාවෙන් අදහස්‌ කොට ඇත්තේ අලුතින් එච්.අයි.වී. ආසාදනයට ලක්‌වන පිරිස අවම කිරීමට, ඒඩ්ස්‌ නිසා වන ජීවිත හානි අවම කිරීමට සහ එච්.අයි.වී. ආසාදිත තත්වයට පත්වන පිරිස සඳහා විය හැකි කොන්කිරීම් අවම කිරීමට ක්‍රියා කළ යුතු බවය.

සමස්‌තයක්‌ ලෙස සැලකෙන විට, ලෝකයේ අලුතින් එච්.අයි.වී. ආසාදිතයින් බවට පත්වන සංඛ්‍යාවද, ඒඩ්ස්‌ තත්වයට පත්ව මරණයට ලක්‌වන සංඛ්‍යාවද අඩුවෙමින් පවතින්නේ සැලකිය යුතු ප්‍රතිශතයකිනි. 2001 දී වාර්තාවූ අලුත් එච්.අයි.වී. ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 3.4 ක්‌ වන විට, 2013 දී එම සංඛ්‍යාව සටහන් වූයේ මිලියන 2.1 කිනි. ඒ අනුව, අලුතින් ආසාදනය වීමේ ප්‍රවණතාවය පහළ ගොස්‌ ඇත්තේ සියයට 38 ක ප්‍රතිශතයකිනි. ඒඩ්ස්‌ තත්වයට පත්ව මරණයට පත් සංඛ්‍යාව 2005 දී මිලියන 2.4 ක්‌ වන විට 2013 දී එම සංඛ්‍යාව සටහන් වූයේ මිලියන 1.5 ක්‌ වශයෙනි. එලෙස ඒඩ්ස්‌ නිසා සිදු වන මරණ සංඛ්‍යාව පහළ ගොස්‌ ඇත්තේ සියයට 35 ක ප්‍රතිශතයකිනි.

එහෙත්. ලෝකයේ ඇතැම් කලාපයන්හි සහ රටවල එච්.අයි.වී. ආසාදනය සම්බන්ධයෙන් පවතින ප්‍රවණතා අසතුටුදායක බවද පැහැදිලි කරුණකි. ඒ අනුව නැගෙනහිර යුරෝපයත්, මධ්‍යම ආසියාවත් සියයට 5 ක ප්‍රතිශතයකින්ද, මැද පෙරදිගත්, උතුරු අප්‍රිකාවත් සියයට 7 ක ප්‍රතිශතයකින්ද අලුතින් ආසාදනයට පත්වීම වර්ධනය කොට ගෙන ඇත. 2005 වර්ෂයේ සිට මේ දක්‌වා ඉන්දුනීසියාව අලුතින් එච්.අයි.වී. ආසාදනයට පත්වීමේ ප්‍රවණතාවය වර්ධනය කොට ගෙන ඇත්තේ සියයට 48 ක ප්‍රතිශතයකිනි.

එච්.අයි.වී. ආසාදනය සම්බන්ධයෙන් ඉහළ ප්‍රවණතාවයන් පැවැති අපේ කලාපයේ කාම්බෝජය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය ආදී රටවල ඒ ප්‍රවණතාවය අද සියයට 50 ක පමණ ප්‍රතිශතයකින් පහළ අගයකට පත්ව ඇත. මෙහිදී ශ්‍රී ලංකාව ලෙස අද අප සැලකිලිමත් විය යුත්තේ එච්.අයි.වී. ආසාදන වර්ධන වේගයෙන් මේ රටවල් දක්‌වන යහපත් ප්‍රවණතාවයට සමීපවන්නට මිස ඉන්දුනීසියා ප්‍රවණතාවයට සමීප නොවන්නටය.

ඉන්දුනීසියාවද මෑතක්‌ වනතුරු දැක්‌වූයේ ශ්‍රී ලංකාව හා සමානව රටතුළ එච්.අයි.වී. ආසාදනය පිළිබඳ අඩු ප්‍රවණතාවයකි. එහෙත් ගතවූ අට වසරක පමණ කාලයකදී සිය එච්.අයි.වී. ආසාදන වර්ධනය ඉන්දුනීසියාව වැඩි කොට ගෙන ඇත්තේ, 2013 වසර සඳහා වන ඇස්‌තමේන්තුගත ආසාදිතයින් සංඛ්‍යාව 640,000 ක්‌ ලෙස සටහන් කර ගනිමිනි.

නවතම සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාවේ 2014 සැප්තැම්බර් අවසානයතෙක්‌ වාර්තාවී ඇති එච්.අයි.වී. ආසාදිතයින් ගණන 2014 කි. ඒ පිරිමින් 1232 ක්‌ සහ කාන්තාවන් 782 ක්‌ වශයෙනි. ඒ පිරිස අතර, මවගෙන් ආසාදනයට පත් ළදරු ආසාදිතයින් ගණන 71 කි. දැනට ශ්‍රී ලංකාවේදී, ඒඩ්ස්‌ නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 331 කි. වාර්තාවූ සංඛ්‍යාවන් එසේ වනවිට, එච්.අයි.වී. ආසාදනය ඇතිව දැනට ජීවත්වන බවට සැලකෙන පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අදාළ ඇස්‌තමේන්තුගත සංඛ්‍යාව වන්නේ 3000 කි.

වර්තමානයේ, එක්‌ මාසයක්‌ තුළදී අලුතින් ආසාදනයට පත්ව වාර්තා වන පිරිස 20 කට ආසන්නව පවතී. 2014 වර්ෂයේ, පළමු කාර්තු තුන තුළදී එලෙස අලුත් ආසාදිතයින් සංඛ්‍යාව සටහන්ව ඇත්තේ, පිළිවෙලින් 51 ක්‌, 59 ක්‌ හා 59 ක්‌ වශයෙනි. එලෙස අලුතින් ආසාදනයට පත්වන පිරිසෙන් වැඩි ප්‍රතිශතයකට අද වග කියනු ලබන්නේද රටේ වයසින් අවුරුදු 25 ත් 29 ත් අතර තරුණ පාර්ශ්වය වීම, අනාගතයට දැඩි ප්‍රශ්ණාර්ථයක්‌මය. මේ සියල්ලෙන් දෘශ්‍යමාන වන්නේ, එච්.අයි.වී. ආසාදන ප්‍රවණතාවයෙන් සමස්‌ත ලෝකය පහළට යන විට, රටක්‌ ලෙස අප ඉන් විරුද්ධ දිසාවට හෙවත් වැරදි දිසාවට ගමන් කරමින් සිටින බවය. එහි, වඩාත් ෙ€දනීය කාරණය වන්නේ, රට එච්.අයි.වී. ආසාදනයේ වැරදි දිසාවට, ඉක්‌මන් ගමනක යෙදෙන බව ජනතාව නොදැන සිටීමය.

එච්.අයි.වී. ආසාදනය රට තුළ පවතින මේ අනතුරුදායක ස්‌වභාවය ජනතාවට නිසියාකාර ඒත්තු ගැන්වීමට විදේශාධාර අනවශ්‍යය. ජාත්‍යන්තර සංවිධානයන්හි ආධාරය මත යෑපීමේ එවැනි මානසිකත්වයෙන් නිලධාරීන්ට, බලධාරීන්ට කෙසේ වෙතත් එහිදී පොදු ජනතාවට වන යහපතක්‌ නැත. රටේ සම්පත්, හා ශ්‍රමය භාවිතයෙන් එච්.අයි.වී. ආසාදනයේ දැඩි අනතුරුදායක තත්වයෙන් රට ගලවා ගැනීමට වගකිවයුත්තන් නොපමාව නිසි පියවර නොගන්නේනම්, එළඹෙන අනාගතය බෙහෙවින් බියකරුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ,
ප්‍රධාන වෛද්‍ය නිලධාරී,
වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි

Source : divaina.com

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment